ආ මග කෙටියි, යා යුතු දුර බොහෝමයි

සමාජ සංවර්ධනයේ ඓතිහාසික ක්‍රියාවලිය තුල සමාජය වෙනසකට භාජනය කරන ලද සුවිශේෂ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් එම ඉතිහාසය විසින් නිර්මාණය කර ඇත. මානව පරිනාමයේ සිට අද දක්වා කාලය තුල භුක්ති විඳින  බොහෝ අයිතිවාසිකම් හා ජයග්‍රහණ වල ඉතිහාසය එම පුරෝගාමී පුද්ගලයින්ගේ සකලවිධ පීඩා හා දුෂ්කරතාවයන් ගේ ඉතිහාසයයි. නූතන තාක්ෂණය තුල අප අද බොහෝ අයිතිවාසිකම් උරුම කරගෙන ජීවත් වෙමු.  

            සමාජය වෙනසකට භාජනය කිරීමේ හැකියාව ලත් පුරෝගාමී පුද්ගලයින් අතීත සමාජය විසින් බිහි කරන ලදි. සංස්කෘතික කළා ශිල්පාදී දේ ප්‍රගුණ කරමින් ලෝකය දැකීමට අවශ්‍ය ආධ්‍යාත්මික මානසික සංවර්ධනය සකස් කිරීම අතීත සමාජයේ අරමුණ විය.

            අප අවධානයට ලක් කරන වත්මන් ලාංකීය මිනිසා බිහි විය යුතු ආකාරය පිළිබඳ ප්‍රමිතියක් පවතීද? ලාංකීය අනන්‍යතාවය කුමක්ද? බෞද්ධ සමාජයක් වශයෙන් බෞද්ධ සමාජය හා දර්ශනය තුලින් නිස්සාරණය කර ගත යුතු කිසිදු සමාජගත දර්ශනයක් අපගේ වත්මන් පරම්පරාවට හඳුන්වා දීමට අප සමත්ව තිබේද? බටහිර මිනිසාට පෙර ලෝකය දුටු පෙරදිග මිනිස්සු නිහඬව බලා සිටියදී අපට අපගේ සංවර්ධනය උදෙසා බටහිර ලෝක වාසීන්ගේ සංකල්ප මත යැපීමට සිදුව ඇත.

            අප සතුව තිබූ අනන්‍යතාවයන් හඳුනා නොගන්නවාට අමතරව මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය සඳහා අප සතුව තිබූ බොහෝ සාධක නොසලකා ක්‍රියාකරන්නට අප පසුබට වී නැත. 1972 සිදු කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලින් සාහිත්‍යමය දැනුම ලබා දීමේත්, සංස්කෘතික හා ඓතිහාසික අවබෝධය ලඟා ගර ගැනීමේත් තිබූ අනගි මාධ්‍යයක් සාපරාධී ලෙස අහෝසි කර දැමීය. ලෝකය පිළිබඳ විමසුම් කිරීමට හා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීමට පුද්ගලයා හට තිබූ අනර්ඝ දාර්ශණික කවුළුවක් එමඟින් වැසී ගියේය.

            සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතිය තුල තිබූ නිෂ්පාදන බලවේග හා භෞතික දියුණුව මත පදනම් වූ සංවර්ධන මූලෝපාය ඔවුන් විසින් පූර්වාදර්ශයට ගනු ලැබීය. එසේම රුසියානු සාහිත්‍ය යේ ගැඹුරු ප්‍රවේශය පසෙකට දමමින් පසුකාලීන සෝවියට් සාහිත්‍යයේ නොගැඹුරු ආභාෂය ලැබූ ඔවුන් සමාජ සත්තා යථාර්ථවාදී රීතියද ගොරහැඩි ලෙස හදුනාගත් බව පෙනී යයි. මෙම වෙනස්කම් මත බිහිවූ පරපුර ආධ්‍යාත්මික සාරධර්ම හා සංස්කෘතික දායාදයන්ට වඩා භෞතික ඵලයන්ගේ වටිනාකම් පිළිබද ගවේශනය කරමින් ඉදිරි ගමනක යෙදුනු බව වත්මන් සමාජීය ප්‍රතිඵලයන්ගෙන් පෙනී යයි.

          එසේම ලාංකීය සාහිත්‍ය කළා ප්‍රබෝධයේ පෙරගමන් කරුවන් වූ සංදේශ කාව්‍ය හා සම්භාව්‍ය සාහිත්‍ය රස විදගත් මහගමසේකර, මානවසිංහ, සරච්චන්ද්‍ර, අමරදේව, මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, නවගත්තේගම, දයානන්ද ගුණවර්ධණ, වැනි මානව හිතවාදී කලාකරුවන්ගේ හා සංස්කෘතික දායාදයන් ඇසුරු කරන ලද සම්භාව්‍ය සාහිත්‍ය රස විද ගත් ලෝක දේශපාලනික හා සමාජ යථාර්ථයන් හදුනා ගත් රායි, කුරොසාවා, බර්ග්මාන් ආදී සිනමා කරුවන් ඇසුරු කළ බුද්ධිමය පරපුරත් සමාජ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් වන යුගය ආසන්නයටම පැමිණ ඇත.

          ඒ වෙනුවට සමාජයට ආදේශකත්වය ලබන්නේ සංස්කෘතික දායාදයන් ගෙන් වියුක්ත වූ රස විහීන පරපුරකි.  මෙවැනි තත්ත්වයන් හමුවේ හෙට දිනය අපට මහත් වූ අභියෝගයක් බවට පත්ව ඇත. ලෝකයේ ශ්‍රේෂ්ඨ විරුවන්ගේ චරිත කතා කියැවීමේදී මානව සම්පත මානව ප්‍රාග්ධනයක් බවට පත් කිරීමට නම් ඔවුන් නෙලා ගත් ජයග්‍රහණ පිටුපසින් වූ සමාජ ක්‍රියාකාරිත්වයන් හා ඔවුන් පෝෂණය ලැබීමට මුල් වූ කරුණු හා සාධක හදුනා ගැනීමට අපට හැකි විය යුතුය.

          මෙවැනි තත්ත්වයක් යටතේ අදට අවශ්‍ය වන්නේ ලෝකයට අවශ්‍ය තාක්ෂණික අධ්‍යාපන සුදුසුකම් ලබමින් ලෝකය හා තරගකාරීව ඉදිරියට යන අතර අපට අහිමි වූ සංස්කෘතික සමාජ සාහිත්‍යමය ගුණයන් හා ලෝකය පිළිබද සකල විධ දැනුම් සම්භාරයන් ගෙන් පෝෂණය වූ ඇසූ පිරූ තැන් ඇති ප්‍රබුද්ධ පරපුරක් බිහි කිරීමයි. ප්‍රබුද්ධ මිනිසෙකු බිහි කිරිම සදහා ලාංකීය ප්‍රමිතියක් අවශ්‍ය වන්නේ එහෙයිනි. එය රටක් විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක් මත පදනම්ව ඇත. එය එසේ වුවත් එසේ කරන තෙක් බලා නොසිට අදම අප අපගේ මෙහෙවර ඉටු කිරීමට දායක වෙමු.

          රටක අනාගතය කේන්ද්‍ර කොටගත් වර්ථමාන විශ්ව විද්‍යාල සංස්කෘතිය අද පවතින්නේ දැඩි අර්බුදකාරී වාතාවරණයක් තුලය. සිසුනට පීඩාකාරී අසහනකාරී වූ අධ්‍යාපනික පරිසරයක් තුල ඔවුන් විවිධ වූ අකටයුතුකම් මගින් තම ආතතිය මුදා හරියි. ගණිත, විද්‍යා, කළා හා වාණිජ පීඨ අද සමාජයට ප්‍රවේශ කරන්නේ සෞන්දර්ය, සාහිත්‍ය, මානව දයාව වැනි මානව ගුණාංග වලින් ඌණ සංවර්ධිත පුද්ගලයින් පිරිසකි. විනාශකාරී ශිෂ්‍ය අරගල හා පර්යේෂණ ක්ෂේත්‍රයන්ගෙන් හා නිර්මාණාත්මක අධ්‍යාපන ක්‍රමවේද වලින් හීන වූ නූතන ලාංකීය විශ්ව විද්‍යාලවලට හිමි වූ ලෝක විශ්ව විද්‍යාල ලැයිස්තුවේ අනුක්‍රමික  අගයන් පහල අගයක් ගනී.         

          අපි අපේ ලාංකීය අනන්‍යතාවය සොයා ගමන් ඇරඹිය යුතු කාලය එළඹ ඇත. එපමණක් නොව එය ලෝක තලයේ ඔසවා තබන්නටද ඔබට සිදුව ඇත. අදුරට සාප කරමින් ජීවත් වනවාට වඩා එක පහනක් හෝ දැල්වීම අගනේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *